පාකිස්තානයට එරෙහිව ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ, දෙරට අතර රාවල්පින්ඩිහී දී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් බංගලාදේශය කඩුලු හයක ජයක් වාර්තා කිරීම හේතුවෙන්.

ඒ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගනිමින් පළමු වරට පාකිස්තානය පරදා ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමට බංග්ලාදේශය සමත් වුණා.

පාකිස්තානයට එරෙහිව බංග්ලාදේශය ලැබූ සිය පළමු ටෙස්ට් තරග ජය ද ඔවුන් වාර්තා කළේ මෙම තරගාවලියේ පළමු තරගයේ දීයි.

තරගයේ අවසන් දිනය වූ ඊයේ දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 185 ක ඉලක්කයක් හඹා යමින් සිටි බංග්ලාදේශය කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 42 ක් ලබා සිටි අතර, ඔවුන් කඩුලු 4 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 22 ක් හා ශකිබ් අල් හසාන් නොදැවී ලකුණු 21 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය සියලු දෙනා දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 274 ක්.
එයට පිළිතුරු ලෙස බංග්ලාදේශය ලකුණු 262 ක් ලබා ගත්තා.
ඉන් අනතුරුව පාකිස්තානය සිය දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 172 ක් පමණයි.

WhatsApp Group

Skip to content