පෞරාණික වටිනාකමකින් යුත් පුරාවස්තු තොගයක් රුපියල් කෝටි පහකට අධික මුදලකට නීති විරෝධී අයුරින් අලෙවි කිරීමට සූදානම්ව සිටි පුද්ගලයෙකු මතුගමදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හමුදා බුද්ධි අංශය වෙත ලැබුණු තොරතුරක් අනුව සිදු කළ වැටලීමකදීයි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මතුගම, පැලවත්ත, ලිහිනියාව ප්‍රදේශයේ විහාරස්ථානයක ප්‍රදර්ශනයට තබා තිබූ ඓතිහාසික වටිනාකමින් යුත් පුරාවස්තු තොගයක් මෙලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවද අනාවරණය වී තිබෙනවා.

මෙහිදී පෞරාණික වටිනාකමකින් යුත් රන්, කිරිගරුඬ, රත් හඳුන් ශෛලමය ප්‍රථිමා , කුඩා ප්‍රමාණයේ ඇත් දළ යුවලක්, කළු හා සුදු වර්ණයෙන් යුත් කස්තුරි සහ සෙනර වලිග යුවල්, ඉපැරණි මුදල් නොට්ටු සහ කාසි කිහිපයක් මෙන්ම තවත් පෞරාණික භාණ්ඩ කිහිපයක් වැටලීම කළ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

මෙම සැකකරු සමග ඔහු පැමිණි යතුරුපැදියද පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මීගහතැන්න පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content