ඔක්තෝම්බර් මාසය රෝස පැහැති මාසය වශයෙන් සලකනුයේ පියයුරු පිළිකා ගැන දැනුවත් කිරීම සදහා විශේෂයෙන්ම නම් කර ඇති නිසාවෙනි. පියයුරු පිළිකා පිළිබද මාසයේ දී ඒ පිළිබදව මනා ප්‍රචාරයක් ඔස්සේ සමාජය දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ පාගමනක් සහ විශේෂ උත්සවයක් ඊයේ දින (02) සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතා මෙන්ම, කලාකරුවන්  සහ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

“හදුනා ගනිමු. ප්‍රතිකාර ගනිමු. ජය ගනිමු.’’ මෙවර පියයුරු පිළිකා පිලිබද මාසයේ තේමාව වශයෙන් ගෙන ඇති අතර තිඹිරිගස්යාය පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථාන පරිශ්‍රයෙන් ආරම්භ කරන ලද පාගමන හැව්ලොක් සිටි දක්වා ගමන් කරන ලදී. එහිදී ජනතාව දැනුවත් කිරීම සදහා විශේෂ උත්සවයක් ද පැවැත්විණි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන මගින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සදහා සිංහ සමාජය අනුග්‍රහය දක්වන ලද අතර, ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් සංවිධාන, රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන සහයෝගීතාවය දක්වන ලදී.

වයස අවුරුදු 20 න් පසුව සෑම මසකම ස්වයං පියයුරු පරීක්ෂාවක් කර ගන්නා ලෙසත්, වයස අවුරුදු 20 – 40 අතර කෙනෙක් නම් වසර 3 කට වරක් හා අවුරුදු 40 කට වැඩිනම් සෑම වසරකදීම සායනික පියයුරු පරීක්ෂාවකට යොමු වන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම පියයුරේ හෝ කිහිල්ලේ ගැටිති, පියයුරේ සමේ වල ගැසීම, පියයුරු ඉදිමීම, තන පුඩුවේ අසාමාන්‍ය ශ්‍රාවයක් හෝ ලේ ගැලීමක්, තන පුඩුව ඇතුලට ගිලී යාම (ළඟදී ඇති වුණු), පියයුරුවල වේදනාව, සමේ ඇති වන වෙනස්කම් වැනි රෝග ලක්ෂණ හෝ අවදානම් සාධක වේ නම් වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගන්නා ලෙසට ද, ඒ සදහා සුවනාරී සායන, සුවදිවි සායන, පිළිකා කලින් හදුනා ගැනීමේ මධ්‍යස්ථාන, පියයුරු සායන, ශල්‍ය සායන, සදහා යොමු විය හැකි  බව වැඩිදුරටත් දැනුම් දෙනු ලැබේ.

WhatsApp Group

Skip to content