මේ වන විට රටේ ජනතාව නිදහස් සහ සාමකාමී මැතිවරණයක් මගින් ජනාධිපතිවරයා තෝරාපත් කරගෙන ඇත. නමුත් ශ‍්‍රී ලංකාවට හතුරු විදේශීය බලවේගවල අපේක්ෂාව වූයේ එවැනි තත්ත්වයක් නොවන බව ජනාධිපතිවරණයට පෙර යම් රටවල් විසින් සංචාරකයින් ලෙස ශ‍්‍රී ලංකාවට පැමිණෙන තම රටවැසියන්ට නිකුත් කළ අනතුරු  ඇඟවීම්වලින් පැහැදිලි විය.

ජනාධිපතිවරණ  ප‍්‍රතිඵල ආශ‍්‍රිතව  ඇති වන අවිනිශ්චිත තත්ත්වයන්  දඩමීමා  කර  ගනිමින්  ගැටුම්  ඇවිලවීම  සහ  අවසානයේදී  බංග්ලාදේශයේ  නිර්මාණය කළ තත්ත්වය ශ‍්‍රී ලංකාවේ ඉරණම බවට පත් කිරීම ඔවුන්ගේ අපේක්ෂාව වූ බව දැන් රහසක් නොවේ.

එහෙත් ඒ පිළිබඳව අප විසින් කරුණු සහිතව ඉදිරිපත් කළ අනතුරු ඇඟවීම් රටේ ජනතාව සහ රාජ්‍ය නිලධාරීන් මෙන්ම දේශපාලන බලවේග විසින් ගැඹුරින් තේරුම් ගෙන ඊට අනුව කටයුතු කිරීම නිසා එවැනි තත්ත්වයක් වළකා  ගත  හැකි විය.  ඒ පිළිබඳව  අප අවංකව සතුටු වන අතර එවැනි තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා සංවිධානාත්මකව කටයුතු කිරීම පිළිබඳව ගරු ජනාධිපතිතුමන්ට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණට ද අපගේ ස්තුතිය ප‍්‍රකාශ කරමු.

අපගේ දේශපාලන කියවා ගැනීම අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ඉතිහාසය විසින් නිර්මාණය කළ අතිශය තීරණාත්මක ගෝලීය භූ දේශපාලන වාතාවරණයක් සහ දේශීයව ගැඹුරු ආර්ථික සහ සමාජ දේශපාලන අර්බුදකාරී තත්ත්වයක් තුළය. යුකේ‍්‍රනය මුල්කරගෙන බටහිර අධිරාජ්‍යවාදී රටවල් විසින් රුසියාවට එරෙහිව දියත් කළ යුද්ධය සහ චීනයට එරෙහිව දකුණු චීන මුහුදේ නිර්මාණය කෙරෙමින් පවතින යුද්ධය අද වන විට අධිරාජ්‍යවාදීන්ට යුදමය වශයෙන් පාරා වළල්ලක් බවට පත්වී ඇත. ඒ අතර මැදපෙරදිග ඊශ‍්‍රායලය යොදා ගනිමින් දියත් කෙරෙන රාජ්‍ය ත‍්‍රස්තවාදය ද අවසානයේදී එහි නිර්මාතෘවරුන්ට ආපසු හැරවිය නොහැකි අර්බුදයක් බවට පරිවර්තනය කෙරෙමින් ඇත.

ඊට සමගාමීව ගෝලීය ඛනිජ තෙල් වෙළඳපළ ආශ‍්‍රිතව පවත්වාගෙන යනු ලැබූ ඇමෙරිකානු ඩොලර් ආධිපත්‍යය නිර්මාණය කිරීම සඳහා ප‍්‍රබල උපාංගයක් ලෙස යොදාගත් ගිවිසුම වසර 50කට පසුව සෞදි අරාබියාව විසින් නැවත බලාත්මක නොකිරීම නිසා ඩොලර් ආධිපත්‍යය මගින් ලෝකය පාලනය කිරීමේ එක් උත්සාහයක් බිඳ වැටී ඇත. එසේම ලෝක ආර්ථිකයෙන් 40%ක් සහ ලෝක ජනගහනයෙන් 60%ක් නියෝජනය කරන BRICS රටවල් සමූහය විසින් සෙසු රටවල් සහභාගී කර ගනිමින් ඇමෙරිකානු ඩොලර් ආධිපත්‍යය බිඳදැමීම සඳහා නව ගෝලීය මූල්‍ය පද්ධතියක් ආරම්භ කිරීම සමග ඇමෙරිකාව ප‍්‍රමුඛ NATO යුද සන්ධානය බරපතළ උභතෝකෝටිකයකට මුහුණ දී ඇති බව ඉතා පැහැදිලිය.

පසුගිය දිනවල ‘ෆයිනෑන්ෂල් ටයිම්ස්’ පුවත්පත වාර්තා කළ ආකාරයට ඇමෙරිකාවේ CIA ඔත්තු සේවාවේ ප‍්‍රධානී විලියම් බර්න්ස් සහ බි‍්‍රතාන්‍යයේ MI6 ඔත්තු සේවාවේ ප‍්‍රධානී රිචඞ් මුවර් ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ප‍්‍රසිද්ධියේ එකට පෙනී සිටිමින් ප‍්‍රකාශ කරන්නේ 21 වැනි සියවසේ බලගතුම අභියෝගයකට මුහුණ දීමට තමාට සිදුවී ඇති බවය. ඔවුන් අභියෝගයට මුහුණ දෙන සෑමවිටම සමස්ත ලෝක ජනතාව අර්බුදයට තල්ලු කිරීම සඳහා යුද්ධය ප‍්‍රවර්ධනය කරන බව රහසක් නොවේ.

WhatsApp Group

Skip to content