කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව මාර්තු 19 අඟහරුවාදා සහ 20 බදාදා යන දෙදින විවාදයට ගැනීමට අද (14) කථානායකවරයාගේ ප්රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් හංස අබේරත්න මහතා පැවසීය.
මේ අනුව මාර්තු 19 වැනි අඟහරුවාදා පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා ද 20 වැනි බදාදා පෙ.ව 9.30 සිට ප.ව 4.30 දක්වාද විවාදය පැවැත්වීමට නියමිතව ඇත. එසේම විවාදයේ දෙවැනි දිනය වන 20 වැනිදා ප.ව 4.30 ට පමණ විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට ද මෙහි දී තීරණය වූ බව වැඩබලන මහලේකම්වරයා පැවසීය.
මාර්තු 21 වැනි බ්රහස්පතින්දා පෙ.ව 9.30 – ප.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සදහා වෙන් කර ඇත. අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා එකතු කළ අගය මත බදු පනතේ නියමයක් ද කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග ද විවාදයට ගැනීමට නියමිතව තිබේ.
ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්රශ්න සඳහා කාලය වෙන්කර ඇත.
මාර්තු 22 සිකුරාදා සම්පූර්ණ දිනය වෙන්ව ඇත්තේ අභාවප්රාප්ත හිටපු ගරු මන්ත්රීවරුන් සදහා ශෝක යෝජනා ඉදිරිපත් කිරීමටයි. මේ අනුව එදින පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා අභාවප්රාප්ත හිටපු මන්ත්රීවරුන් වන ගරු ආර්. එම් කරුණාරත්න, ගරු බන්දුල බස්නායක සහ ගරු වෛද්යාචාර්ය පී.එම්.බී සිරිල් යන මහත්වරුන් වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීම සදහා කාලය වෙන් කිරීමට ද මෙහි දී තීරණය වී ඇත.

WhatsApp Group

Skip to content