අබුඩාබි ටී 10 තරඟාවලියේ තවත් තරඟ තුනක් ඊයේ පැවැත් වුණා.

එහිදී පැවති පළමු තරඟයෙන් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම පරාජය කරමින් සම්ප් ආර්මි කණ්ඩායම කඩුළු 06ක ජයක් වාර්තා කිරීමටයි සමත් වුණේ.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 82ක් රැස් කළා.

එහිදී පැතුම් නිශ්ශංක ලකුණු 06ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 02ක්, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 02ක් සහ දසුන් ශානක ලකුණු 03ක් පමණයි රැස් කරනු ලැබුවේ.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සම්ප් ආර්මි කණ්ඩායම පන්දුවාර 8යි පන්දු 2ක් අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 85ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.

මේ අතර ඊයේ පැවති දෙවැනි තරඟයෙන් නුවන් තුෂාරගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරණ නදන් වොරියර්ස් කණ්ඩායම පරාජය කරමින් කඩුළු 08ක ජයක් වාර්තා කිරීමට ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් වුණා.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් නදන් වොරියර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුළු 06ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 100ක්.

එහිදී නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 29ක් රැස් කළා.

පන්දු යැවීමේදී නුවන් තුෂාර පන්දුවාර 02දී ලකුණු 12ට කඩුළු 04ක් බිඳ හෙළුවා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 6යි එක් පන්දුවක් අවසානයේ කඩුළු 2ක් පමණක් දැවී ලකුණු 104ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.

මේ අතර ඊයේ පැවති තෙවැනි තරඟයෙන් ටීම් අබුඩාබි කණ්ඩායම පරාජය කරමින් ලකුණු 24ක ජයක් වාර්තා කිරීමට නිව්යොක් ස්ට්‍රකර්ස් කණ්ඩායම සමත් වුණා.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් නිව්යොක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුළු 05ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 110ක්.

එහිදී කුසල් ජයනිත් පෙරේරාට රැස් කරගත හැකි වූයේ එක් ලකුණක් පමණයි. පන්දු යැවීමේදී බිනුර ප්‍රනාන්දු ලකුණු 28ට එක් කඩුල්ලක් බිඳ හෙළුවා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටීම් අබුඩාබි කණ්ඩායමට නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුළු 05ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 86ක් පමණයි.

WhatsApp Group

Skip to content