ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය පුපුරවා හරින බවට ඉන්දීය පොලිසියට තර්ජනාත්මක විද්‍යුත් තැපැල් පණිවුඩ ලැබී ඇති බව වාර්තා වනවා.

ඉන්දීය රජය රුපියල් කෝටි 500ක් ගෙවීමට අපොහොසත් වුවහොත් එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග පැවැත්වෙන නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය පුපුරුවා හරින බවට පසුගිය දා තර්ජනාත්මක ලිපියක් මුම්බායි පොලිසියට ලැබී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මේ වනවිට දිල්ලියේ මැන්ඩෝලි බන්ධනාගාරයේ රඳවා සිටින කුප්‍රකට පාතාල කල්ලි නායක ලෝරන්ස් බිෂ්නෝයි නිදහස් කරන ලෙසත් අදාළ ලිපිවල සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිටත් ත්‍රස්තවාදී කණ්ඩායමක් ප්‍රහාර එල්ල කිරීම සඳහා පුද්ගලයින් යොදවා ඇති බව ද අදාළ විද්‍යුත් තැපැල් පණිවුඩවල සඳහන්.

විදේශ රටක සිට අදාළ තර්ජනාත්මක ලිපි යොමුකර ඇති බවට මේ වනවිට අනාවරණය කරගෙන තිබෙනවා.

මෙවර ලෝක කුසලාන එක්දින තරගාවලියේ තරග 05ක් අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.මේ හේතුවෙන් ක්‍රීඩාංගණයේ ආරක්ෂාව තර කිරීමට මේ වනවිට කටයුතු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content