කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පොලිසිය කියා සිටියේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකුද වන දෙමටගොඩ රුවන් නමැත්තාගේ දෙමටගොඩ වේළුවන පාරේ පිහිටි නිවසකට මෙලෙස පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

පෙට්‍රල් බෝම්බ තුනක් නිවසට එල්ල කර ඇති අතර පෙට්‍රල් බෝම්බ දෙකක් නිවසේ ගේට්ටුවට වැදී ඇති බවත් අනෙක් බෝම්බය වත්ත තුළට එල්ල වී ඇති බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ගේට්ටුවට එල්ල කරන ලද බෝම්බ දෙකෙන් එක් බෝම්බයක් පිපිරී නොමැති බවත් අනෙක් බෝම්බය පුපුරා ගොස් ඇති බවත්ය.

කෙසේ වෙතත් බෝම්බය පිපුරුණ විගස එහි සිටි පිරිස වතුර දමා නිවා ඇති බවද පොලිසිය පවසනවා.

පොලිසිය වැඩිදුරටත් පවසන්නේ ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

කිසියම් ප්‍රතිවිරුද්ධ කල්ලියක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරන අතර බෝම්බ ප්‍රහාරට පැමිණි පිරිස බොරැල්ල දෙසට පළාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවද වාර්තා වනවා.

දෙමටගොඩ රුවන් නමැත්තා මේ වන විට බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින අතර එල්ල වූ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසිය මෙන්ම කොළඹ අපරාධ කොට්ඨාසය මගින්ද පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content