දශකයක් වැසි ගොස් තිබු උඩුදුම්බර කලවල ප්‍රාථමික විද්‍යාලය නැවතත් සිසු අයිතියට

මධ්‍යම පළාත් අධ්‍යාපන ආමාත්‍යාංශය මගින් නව ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක කරනු ලබන පාසල් නගාසිටුවීමේ වැඩසටහන යටතේ වැසීගිය පාසල් නැවත ආරම්භ කිරීමේ ප්‍රවේශය 2024 මාර්තු 06 වන දින මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් තෙල්දෙණිය අධ්‍යාපන කලාපයෙන් ආරම්භ කෙරින.

මෙලෙස ආරම්භ කරන ලද්දේ තෙල්දෙණිය අධ්‍යාපන කලාපයට අයත් උඩුදුම්බර අධ්‍යාපන කොට්ඨාශයේ කලවල ප්‍රාථමික විද්‍යාලයයි. දුෂ්කර ගම්මානයක පිහිටි මෙම පාසල 1963 වර්ෂයේදී ආරම්භ කොට ඉතා සාර්ථකව පවත්වාගෙන ගොස් ඇති අතර කාලීනව ඇතිවූ විවිධ හේතු පදනම් කරගෙන වැසීයාමට ලක්වී ඇත්තේ 2013 වර්ෂයේදීය. නැවත වසර 10 කට පසුව නව ව්‍යාපෘතිය යටතේ මප /තෙල්/ කලවල ප්‍රාථමික විද්‍යාලය ආරම්භ කිරීම සිදු වූ අතර මෙදින පාසල වෙත දරුවන් ඇතුලත් කර ගැනීම ද සිදු විය.

පාසල සංවර්ධනය සදහා පළමු අදියර යටතේ නව ගොඩනැගිල්ලක්  ස්ථාපිත කොට ඇති අතර මේ සදහා රුපියල් මිලියන 4.5 යොදවා ඇත. දෙවන අදියරේ දී පාසල නගාසිටුවීම වෙනුවෙන් රුපියල් මිලියන 7 ක් ද වෙන්කොට පවතී. මෙහිදී පාසලේ කටයුතු සදහා අවශ්‍ය උපකරණ හා භාණ්ඩ ප්‍රධානය කිරීමද සිදු කෙරින.

මෙහීදී අදහසක් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, පාසලක වටිනාකම මිල කල නොහැකි එකක් වනු බවත්, එක් පාසලක් වැසීයාම සමාජය සදහා ඉතා ඉහල සෘණාත්මක බලපෑමක් ඇති කරන බවත් ය. කුසලතාවයන්ගෙන් , දැනුමෙන් මෙන්ම රට ජාතිය සම්බන්ධයෙන් යහපත් ආකල්පයන්ගෙන් ද පෝෂණය වු දරු පරපුරක් රට සදහා අවශ්‍ය බවත්, පාසල් වැසී වලක්වාලමින්, පවත්වා පාසල් මගින් වඩා ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම කෙරෙහි අවධානය යොමු කර කටයුතු කිරීම සිදු කළ යුතු බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා සදහන් කර සිටියේය.

මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එච්.එම්.යු.බී.හේරත් , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස , තෙල්දෙණිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.කේ.තෙන්නකෝන්, පළාත් විගණන අධිකාරි ඩබ්ලිව්.අබේරත්න, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) කේ.ජි.එස්.නිශ්ශංක , උඩුදුම්බර ප්‍රාදේශය ලේකම් ජයමිණි බෝගහවත්ත , උඩුදුම්බර කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ එන්.කේ.රණවිර , උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ ලේකම් ආර්.දිසානායක, පාසලේ වැඩ බලන විදුහල්පති පි.කේ.කපුකොටුව යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් රැසක් සහභාගී විය.

WhatsApp Group

Skip to content