අනුරාධපුර අටමස්ථානාධිපති පදවිය සදහා අභිනවයෙන් තේරී පත් වූ පුජ්‍ය පල්ලෙගම හේමරතන නාහිමියන්ගේ පදවි ප්‍රාප්ත උත්සවයට සහභාගී වීම සදහා තායිලන්තයේ සිට භික්ෂුනීන් වහන්සේලා ඇතුළු ගිහි දායක දායිකාවන් 28 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

ඔවුන් අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපල අප වාර්තාකරු කියා සිටියේ.

ඔවුන් අද දින උදෑසන 10.25 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මෙම පිරිස ශ්‍රී ලංකාවේ දින 04 ක කාලයක් ගත කිරීමට නියමිත අතර ඔවුන් අනුරාධපුරයේ පැවැත්වෙන මෙම උත්සවයෙන් අනතුරුව මහනුවර දළදා මාළිගාව වන්දනා කිරීමට ද සැළසුම් කර ඇති බව සඳහන්.

මෙම තායිලන්තය බෞද්ධ දූත පිරිස පිළිගැනීම සදහා අනුරාධපුර අටමස්ථානයේ දායක පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.

අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ට සන්නස් පත්‍ර පිළිගැන්වීමේ පුණ්‍ය උත්සවය හෙට පැවැත්වීම සඳහා කටයුතු සම්පාදනය කර තිබෙනවා.

ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සවස 2.30ට ඓතිහාසික ශ්‍රී මහා බෝධි මහමළුවේදී එම පුණ්‍ය උත්සවය පැවැත්වීමට නියමිතයි.

අභිනව අටමස්ථානාධිපති නාහිමිට සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ද විජිනිපත පිළිගැන්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ද සිදු කෙරෙනු ඇති.

අටමස්ථානාධිපති ධූරයෙහි වැඩ විසූ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිගේ අපවත්වීමෙන් පසුව අටමස්ථාන කාරක සභාවේ ඒකමතික තීන්දුව අනුව 11 වැනි අටමස්ථානාධිපති හිමි ලෙස පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් තේරී පත් වුනා.

 

WhatsApp Group

Skip to content