ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහනෙහි සංශෝදනයක් සිදු කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව මීට පෙර නිකුත් කළ කාලසටහනෙහි ඇතුළත්ව තිබූ තරග 9ක සංශෝදනයක් සිදු කර ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ.

ඒ අතරට, ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය මෙන්ම ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරගය ද ඇතුළත්.

ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය ඔක්තෝබර් 15 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, එය ඔක්තෝබර් 14 වැනිදා අහ්මදාබාද්හී දී ම පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

ඒ හේතුවෙන් ඇෆ්ඝනිස්තානය හා එංගලන්තය අතර ඔක්තෝබර් 14 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ තරගය එදින නොපවත්වා එම තරගය ඔක්තෝබර් 15 වැනිදා පැවැත්වීමට කටයුතු කරන බව අදාළ නිවේදනයේ සදහන්.

පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර තරගය ඔක්තෝබර් 12 වැනිදා හයිද්‍රබාද් හී දී පැවැත්වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සදහන් කළේ එම තරගය ඔක්තෝබර් 10 වැනිදා පැවැත්වෙන බවයි.

එමෙන්ම ඔස්ටේ‍රලියාව හා දකුණු අප්‍රිකාව අතර තරගය ද ඔක්තෝබර් 13 වැනිදා නොපවත්වා ඔක්තෝබර් 12 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මේ අතර, ඔක්තෝබර් 14 වැනිදා චෙන්නායි හී දී දහවල් තරගයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබූ නවසීලන්ත-බංග්ලාදේශ තරගය ඔක්තෝබර් 13 වැනිදා දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි.

එංගලන්තය හා බංග්ලාදේශය අතර ධරම්සාලා හී දී ඔක්තෝබර් 10 වැනිදා පැවැත්වීමට නියමිත තරගය දිවා රාත්‍රී තරගයක් වෙනුවට දිවා තරගයක් ලෙස පැවැත්වීමට ද තීරණය කර තිබෙනවා.

නොවැම්බර් 12 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ඔස්ට්‍රේලියාව හා බංග්ලාදේශය අතර තරගයත්, එංගලන්තය හා පාකිස්තානය අතර තරගයත නොවැම්බර් 11 වැනිදා පැවැත්වීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ.

මේ අතර, ඉන්දියාව හා නෙදර්ලන්තය අතර නොවැම්බර් 11 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ තරගය නොවැම්බර් 12 වැනිදා දිවා රාත්‍රී තරගයක් ලෙස බැංගලූරුහී දී පැවැත්වීමට නියමිතයි.

 

 

WhatsApp Group

Skip to content