ඇම්බර් වර්ණයෙන් යුතු තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

නිරිතදිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

මේ අතර බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි  එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර මාතර නිල්වලා ගඟේ ආරක්ෂක බැමි කැඩී යාමේ අවදානමක් මතුව තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ නිල්වලා ගඟ අවට පහත් බිම්වල ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවයි.

ඉදිරි පැය කිහිපය තුළ අධික වර්ෂාපතනයක් ඇදහැලුනහොත් නිල්වලා ගඟේ ආරක්ෂක බැමි කැඩී යා හැකි බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළා.

අකුරැස්ස, අතුරලිය, කඹුරුපිටිය, දියගොඩ, මාලිම්බඩ සහ මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාව අවදානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

මේ අතර නව ප්‍රදේශ රැසකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට දිස්ත්‍රික්ක 9 ක් සදහා නාය යෑමේ අනතුරු ඇගවීම් නිකුත් කරනු ලැබුවා.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රදේශය සදහා පළමු මට්ටමේ නාය යෑමේ අනතුරු ඇගවීම් මුල්වරට නිකුත් කර ඇති අතර එම දිස්ත්‍රික්කයේම සීතාවක ප්‍රදේශයට ද එම නායයෑමේ අනතුරු ඇගවීම බලපැවැත්වෙනු ඇති.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රදේශයටත්, ක`ඵතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ සහ පාලින්ද නුවරටත් අනතුරු ඇගවීම් නිකුත් කර ඇති අතර අගලවත්ත සහ බුලත්සිංහල යන ප්‍රදේශවලට ද පළමු මට්ටමේ නාය යාමේ අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

එමෙන්ම ඉංගිරිය, වලල්ලාවිට සහ මතුගම ප්‍රදේශවලටත් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකටත්, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකටත්, මහනුවර දිස්ත්‍රික්කයේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකටත් නාය යාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකටද පළමු මට්ටමේ නාය යාම් අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content