ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ විශාලතම වංචාව වන වීසා වංචාව මගින් රටේ දේශ සීමා ඉන්දියාවේ පෙට්ටි කඩයකට විකුණා දැමුවේ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් බවත්, ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායකලා ඒ සම්බන්ධයෙන් කතා නොකරන බවත්, එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඊයේ (22) පස්වරුවේ මොරටුවේ පැවැති සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම පිණිස පැවැති ජන හමුව අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේ ය.

“සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වෙන්නේ එදා 2019 දී පැවැත්වුණා වගේ සාමාන්‍ය ජනාධිපතිවරණයක් නෙවෙයි. මේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ බංකොලොත් රටක. 1815 මාර්තු 02 වෙනිදා අපට නිදහස අහිමි වෙලා ස්වෛරීභාවය අහිමි වුණා වගේ 2022 අප්‍රේල් 12 වෙනිදා අපට ස්වෛරීභාවය අහිමි වෙලා අපේ අනාගතය තීරණය කිරීම අපේ ණය හිමියන්ට බාර කරපු රටකයි අපි ජනාධිපතිවරණය පවත්වන්නේ. ඒ වගේම 2019 ජනාධිපතිවරණය පැවැත්වුණේ ආණ්ඩුවේ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහත්මයා හැටියට විපක්ෂයේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ හැටියට. නමුත් මෙවර ආණ්ඩුවේ අපේක්ෂකයා පළවෙනි තරඟකරුවන් දෙන්නා අතරේ නැහැ. අද තරගය සමගි ජන බලවේගයත්, ජාතික ජන බලවේගයත් අතර. ඒක අපි අමතක කරන්න හොඳ නෑ. මේ රට අද මේ ලබාගෙන තියෙන්නෙ තාවකාලික තත්ත්වයක්. අද 2022 තිබුණු මහා පරිමාණ තෙල් පෝලිම් නෑ. විදුලි කප්පාදුව නෑ. බෙහෙත් තියෙනවා, පොහොර තියෙනවා කියලා, අපට කියනවා. නමුත් මතක තියා ගන්න, එදා අපේ රජය යටතේ 2015 එදා අපි තෙල් මිල බැස්සුවා, පෙට්‍රල් මිල රු. 154 ඉඳන් රු. 117 ට මතකයි නේද? ඩීසල් මිල බැස්සුවා. 134 ඉඳන් රු. 95 ට මතකයි නේද? විදුලි බිල බැස්සුවා රු. 16.20 ඉඳන් රු.15 ට විදුලි ඒකකය. එහෙමත් කරලා ඒ ආයතන ලාභ කරලා ඒ ශක්තිය අපි ජනතාවට ලබා දුන්නා. නමුත් අද විදුලි ඒකකය තුන් ගුණයකින් වැඩි කරලා තෙල් මිල තුන් ගුණයකින් වැඩි කරලා බෙහෙත් මිල හතර පස් ගුණයකින් වැඩි කරලා පොහොර මිල හත් අට ගුණයකින් වැඩි කරලා තමයි මේ කියන ස්ථාවරත්වය කියන එක අරන් තියෙන්නේ. කොටින් ම කිව්වොත් ණය ගෙවීම 2028 න් ඔබ්බට අවු. 18 කට කල් දමලා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ස්ථාවරත්වය කියන එක අරන් තියෙන්නේ. ඒ නිසා එළඹෙන ආණ්ඩු මතක තබා ගත යුතුයි නැවත නැවතත් රට බංකොලොත් වෙන්න ඉඩ තියෙනවා. තවදුරටත් මේ රට විප්ලවීය අත්හදා බැලීම් කරන්න ගියොත් රට නැවත නැවතත් බංකොලොත් වෙලා. රටේ ජනතාව ඉතුරු ටිකටත් මුහුදට පනින්න වෙන තත්ත්වයක් උදා වෙන්න නියමිතයි. ඒක වලක්වගන්න නම් පළපුරුදු පිරිසක්, කළමනාකාරිත්වය සහිත පිරිසක් රට බාර අර ගෙන රට ඉදිරියට ගෙනියන්න වැඩ කටයුතු කළ යුතුයි.

WhatsApp Group

Skip to content