ඩේලි නිව්ස් නියෝජ්‍්‍ය කතෘ ගැරී ගානියර් ඉකුත් සිකුරාදා (14) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

වසර 26ක් පුරා ඩේලිනිවුස් පුවත්පතේ සේවය කළ නියෝජ්‍ය කතෘ  ගැරී ගානියර් මිය ගියේ හෘදයාබාධයක් වැලදීමෙනි.1968 ජුනි 27 දින මෙලොව එළිය දුටු ගැරී මිය යන විට ඔහුගේ වයස අවුරුදු පනස් පහකි.

කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ ඔහු අයිලන්ඩ් පුවත්පතෙන් සිය මාධ්‍ය දිවිය ඇරඹුවේ 90 දශකයේ මුලදී ය.

උප කර්තෘවරයකු ලෙස ඩේලිනිවුස් පුවත්පතට බැඳෙන ඔහු පසුව එම පුවත්පතේ නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ ලෙස ද කලක් සේවය කළ අතර ගැරීගේ බිරිය වූයේ ඩේලි නිවුස් පුවත්පතේ නියෝජ්‍ය විශේෂාංග කර්තෘ අංජලී ගානියර්ය.

ගැරී පිළිබඳ කෘතවේදීව සිහිපත් කරමින් ප්‍රවීණ මාධ්‍යවේදී ඩේලිනිවුස් කතෘ  ජයන්ත ශ්‍රී නිශ්ශංක පැවසුවේ, සිය වසර විසිපහක වෘත්තීය මාධ්‍ය ජීවිතයේ ගැරී තරම් කැපවීමෙන් වැඩ කළ මාධ්‍යවේදියකු හමු වී නැති බවත් ඔහුගේ හදිසි නික්ම යෑම තමා දැඩි කම්පනයට පත් කළ බවත්ය. ඉංග්‍රීසි චිත්‍රපට පමණක් නොව ගීත ගැන මෙන්ම කලාව ගැන ඔහුට මනා රසවින්දනයක් තිබුණ අතර  ඔහු තම කාර්යාලයේ හිත මිතුරන් සමඟ මේවා බෙදා ගත්තේ කලාකාමියකු ලෙසිනි.

ඔහුගේ දේහය සෙනසුරාදා උදෑසන 9.00 සිට දහවල් 2.00 දක්වා කළුබෝවිල පීරිස් මල්ශාලාවේ තැන්පත් කර තිබෙන අතර මාධ්‍යවේදීන්ගේ මෙන්ම පාඨකයන්ගේ ද ඇසෙහි කඳුළක් නංවමින් ගැරී මේ සෙනසුරාදා (15) කොහුවල පොදු සුසාන භූමියේදී නික්ම ගියා.

 

WhatsApp Group

Skip to content