ලෝක ප්‍රකට ශ්‍රී ලාංකේය තේ සන්නාමයක් වන ඩිල්මා තේ හි නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු අද (ජූලි 20) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 93ක්.

1930 මැයි 6 වැනිදා මීගමුවේ පල්ලන්සේනේදී උපත ලද ප්‍රනාන්දු මහතා 1950 දශකයේ තේ රස පරීක්ෂකවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය දියත් කළ අතර පසුව තේ වතුකරුවෙකු ලෙසද සේවය කළා.

1985 දී ඔහු ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය ‘ඩිල්මා’ සන්නාමය යටතේ ජාත්‍යන්තර වෙළෙඳපොළට නිරාවරණය කරමින් එහි විප්ලවීය වෙනසක් ඇති කිරීමේ පුරෝගාමී කාර්යභාරයක් ඉටු කළා.

ඔහුගේ පුතුන් දෙදෙනා වන දිල්හාන් සහ මලික්ගේ නම් ඇතුළත් කර Dilmah තේ සන්නාමය නිර්මාණය කරන ලද අතර එය පසුව ජනප්‍රිය සන්නාමයක් බවට පත්විය.

රටවල් 100ක පමණ අතිශය ජනප්‍රිය තේ සන්නාමයක් ලෙසයි ඩිල්මා තේ සැලකෙන අතර 2019 වසරේදී ඩිල්මා තේ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධූරයෙන් ඔහු ඉල්ලා අස්වූ අතර එම පුරප්පාඩුව සඳහා පත් කෙරුණේ ඔහුගේ පුත්‍රයා වන දිල්හාන් ප්‍රනාන්දු ය.

ව්‍යවසායකයෙකු ලෙස දැක්වූ දක්ෂතා ඇගයීම පිණිස මෙරිල් ජේ. ප්‍රනාන්දු සම්මාන රැසකින් ද පිදුම් ලැබූ අයෙකි.

 

WhatsApp Group

Skip to content