විදේශ ගමන් බලපත්‍ර සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක වශයෙන් නම් කර සිටින හිටපු රාජ්‍ය අමත්‍ය ඩයනා ගමගේ මහත්මිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා.

මෙරට පුරවැසිභාවය නොමැතිව ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඩයනා ගමගේට එරෙහිව නීතිය අනුව පියවර ගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබුවා.

මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධියට අදාළව ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසිනුයි මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනාගෙන් ප්‍රකාශයක් සටහන් කර තිබෙන බවයි සඳහන් වෙන්නේ.

ඉදිරිපත් වූ කරුණු විශ්ලේෂණය කිරීමේදී ඩයනා ගමගේ සැකකාරියක් වශයෙන් නම් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී ඇති බවත් ඒ අනුව ඇය සැකකාරියක් වශයෙන් නම් කිරීමට අවසර දෙන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ සැකකාර ඩයනා ගමගේ මහත්මිය ඇය පදිංචිව සිටි නිවසින් අතුරුදන්ව ඇති බවයි.

WhatsApp Group

Skip to content