අභ්යන්තර ජල මාර්ග මඟින් භාණ්ඩ හා සේවා ප්රවාහනය නියාමනය කිරීම සඳහා ආයතනයක් පිහිටුවීමට ඇති හැකියාව පිළිබඳ බලශක්ති සහ ප්රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.
මේ පිළිබඳ අවධානය යොමු වූයේ බලශක්ති සහ ප්රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා (09) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේ දී ය.
පාර්ලිමේන්තු මන්ත්රී මධුර විතානගේ මහතා කාරක සභාවට ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මේ පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වූ අතර මෙහි දී කාරක සභාව පෙන්වා දුන්නේ දීර්ඝ කාලයක සිට ජල මාර්ග ඔස්සේ ප්රවාහනය සිදු කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කර තිබුණ ද මේ සඳහා විධිමත් ක්රමවේදයක් සකස් කොට නොමැති බවයි.
එසේම ශ්රී ලංකාව දූපතක් වන බැවින් ද, කොළඹ නගරය ආශ්රිතව උදෑසන කාර්යාල සේවාවන් ආරම්භ කරන කාලසීමාව තුළ ඇති වන රථවාහන තදබදය අවම කිරීම සඳහා පිළියමක් ලෙස ද ජල මාර්ග ඔස්සේ ප්රවාහනය දිරිමත් කළ හැකි බවයි.
තව ද යටත් විජිත යුගයට පෙර මෙරට පැවති දියුණු ජල ප්රවාහන ක්රමවේදය වර්තමානයේ ක්රියාත්මක නොවීම පිළිබඳව ද කාරක සභාව නිලධාරීන්ගෙන් විමසීම් සිදු කළ අතර මේ වෙනුවෙන් සුදුසු ක්රමවේදයක් සකස් කිරීම වැදගත් වන බව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා පෙන්වා දුන්නේය.
මේ නිසා අභ්යන්තර ජල මාර්ග මඟින් භාණ්ඩ හා සේවා ප්රවාහනය නියාමනය කිරීම සඳහා ආයතනයක් පිහිටුවීම වැදගත් වන බවත් ඒ වෙනුවෙන් අවශ්ය පියවර ගන්නා ලෙසත් කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
එසේම මාසයක් ඇතුළත මේ සම්බන්ධයෙන් වන ප්රගතිය කමිටුවට දන්වන ලෙස ද සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මීට අමතරව “ශ්රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ පසුගාමීත්වය මඟහරවා ගැනීම සඳහා අදහස් සහ යෝජනා” සහ “ශ්රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ අදහස් සහ යෝජනා” ලබා ගැනීමට පළ කරන ලද පුවත්පත් දැන්වීම් සඳහා ලැබී ඇති ලිඛිත ඉදිරිපත් කිරීම් පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කෙරිණි.

WhatsApp Group

Skip to content