ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රගමනයට ඉවහල් වන සේ මානව සම්පත වැඩිදියුණු කිරීම සඳහා දරුවන් දැනුමෙන් සන්නද්ධ කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඉදිරි අවුරුදු දහය තුළ ලෝකයට අවශ්‍ය වන මානව සම්පත නිර්මාණය කිරීමේ මෙහෙයුම අධ්‍යාපන නිලධාරීන්ට පැවරෙන වගකීමකි. ඒ සඳහා වන පුළුල් දැක්මක් සහිතව අධ්‍යාපන ව්‍යාපෘති සකස් කිරීමේ ඇති අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී අද (16) පැවති අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශවල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමිනි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචනයේදී අධ්‍යාපන , විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශවල ක්‍රියාත්මක ව්‍යාපෘති පහක් සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡාවට බඳුන් කෙරිණි.

පාසල් අධ්‍යාපනය නවීකරණය, ගුරු අධ්‍යාපනය, ද්විතියික අධ්‍යාපනය, තාක්ෂණික අධ්‍යාපනය සහ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය සංවර්ධනය කිරීම යන කරුණු මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් විය.

WhatsApp Group

Skip to content