ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයෙන් කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පරදා කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.

මෙම ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද ගෝල් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණේ මෙතෙක් දෙවැනි ස්ථානයේ පසු වූ බී-ලව් කැන්ඩි කණ්ඩායම තෙවැනි ස්ථානයට ඇද දමමින්.

ඒ අනුව තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට අහිමි වුණා.

දඹුල්ල අවුරා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය හිමි කර ගනිමින් අවසන් වටයට සුදුසුකම් ලැබූ අතර, ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ද ඊයේ නිල වශයෙන් අවසන් වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමටයි සමත් වුණේ.

ඊයේ පැවැති තරගයේ දී පළමුවෙන් පන්දුවට පහරදුන් ලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු 4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 74 ක් පමණයි.

එය ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ කණ්ඩායමක් ඉනිමකදී රැස් කළ දෙවැනි අවම ලකුණු සංඛ්‍යාවයි.

පන්දු යැවීමේ දී ටබ්රයිස් ශම්සි කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 20 ක් ලබා දෙමින්. සීක්කුගේ ප්‍රසන්න ලකුණු 14 කට කඩුලු 3ක් බිද හෙලුවා. ලහිරු කුමාර කඩුලු 2ක් දවා ගත්තේ ලකුණු 9ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 8යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 75ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

මෙහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ලසිත් කෲස්පුල්ලේ පන්දු 25දී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 42 ක්.

WhatsApp Group

Skip to content