රුපියල් කෝටි විසි තුනක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දුනීසියානු ජාතික කාන්තාවක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී කොකේන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04 යි ග්‍රෑම් 598 ක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සොයා ගත් බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු සදහන් කළේ.

කුඩා දරුවන් කියවන , ලොකු ඉංග්‍රීසි අකුරු සහිත ළමා කතාන්දර පොත් 08 ක , පිටකවර තුළ සගවා මෙම මත්ද්‍රව්‍ය තොගය ගෙනවිත් තිබෙනවා.

මෙම කාන්තාව ශ්‍රී ලංකාවට පළමු වරට පැමිණි 42 හැවිරිදි ඉන්දුනීසියානු ජාතික කාන්තාවක් වන අතර , ඇය එරට රෙදිපිළි වෙළෙඳාමේ නිරත කාන්තාවක් බවටයි මූලික රේගු විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන පළමුවෙන් ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවරින් ගමන් අරඹා කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ තිබෙනවා.

අනතුරුව එතැන් සිට කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඊයේ පස්වරු 04.10 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු සදහන් කළේ.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මෙම වසර තුළ කටුනායක ගුවන් තොටුපොළ තුළ සිදු කළ පස් වැනි කොකේන් මත්ද්‍රව්‍ය වැටලීම මෙය බව උසස් රේගු නිලධාරීවරයෙකු පවසා තිබෙනවා.

මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දුනීසියානු ජාතික කාන්තාව පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමටයි පියවර ගෙන ඇත්තේ.

WhatsApp Group

Skip to content