කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය මගින් පවත්වන ලද කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහයෝගිත්ව සම්මන්ත්‍රණය ජුලි මස 16 දින ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී සාර්ථකව නිමාවට පත්විය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මන්ත්‍රණය පැවති අතර රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශනද සිල්වා මහතා සහ අමාත්‍යංශයේ ලේකම් ජනක ධර්මකීර්ති මහතා, කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලේ මාලදිවයින් ශ්‍රී ලංකා කලාපීය අධ්‍යක්ෂවරිය වන ශෙරිනා තබසම් මහත්මිය, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ රේණුකා රත්නායක මහත්මිය මෙම සම්මන්ත්‍රණයේ විශේෂ ආරාධිතයන් ලෙස සහභාගි වූහ.

මෙම අවස්ථාවට කෘෂිකාර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන ආයතන නියෝජනය කරමින් නියෝජිතවරුන් වරියන් 60කට අධික ප්‍රමාණයක්ද සහභාගි විය.  මෙම සම්මන්ත්‍රණය ව්‍යපෘතියේ ප්‍රධාන අරමුණක් වන කෘෂි නිෂ්පාදන ආශ්‍රිත අගයදාම සංවර්ධනය සාක්ෂාත් කරගැනීමේ අරමුණින් සංවිධානය කරන ලද්දකි.

ව්‍යාපෘතියේ ප්‍රතිලාභින්ගේ කෘෂි නිෂ්පාදන සඳහා නිශ්චිත වෙළඳපලක් හදුන්වාදීම සහ වෙළඳපල අවශ්‍යතා හඳුනාගැනීම සහ අපනයන ප්‍රවර්ධනය සඳහා වේදිකාවක් තැනීම මෙම සම්මන්ත්‍රණය මඟින් ඉටුකර ගැනීමට අපේක්ෂිත ප්‍රතිඵල වේ.

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සදහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතියකි. ව්‍යාපෘතිය දිවයිනේ වයඹ, උතුරු මැද, උතුර  සහ මධ්‍යම පළාත් වල කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර, මන්නාරම, වව්නියාව සහ මාතලේ යන දිස්ත්‍රික්ක 06ක මල්වතු ඔය, දැදුරු ඔය සහ මී ඔය යන ගංගා වල එල්ලංගා පද්ධති පදනම් කරගෙන තෝරාගත් ග්‍රාම නිලධාරි වසම් 100ක ක්‍රියාත්මක වේ.

WhatsApp Group

Skip to content