පිරිමි පුද්ගලයකු විසින් එල්ල කරන ලද උදළු පහරකින් කාන්තාවක් මියයාමේ පුවතක් කහටගස්දිගිලිය, ඊතළවැටුණු වැව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ප්‍රදේශයේ වී වගාකළ කුඹුරකට ජලය සපයමින් සිටියදී අදාළ පිරිමි පුද්ගලයා සහ මියගිය කාන්තාව අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙලෙස පහරදීම සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

පිරිම පුද්ගලයා එල්ල කරන ලද උදළු පහරින් අදාළ කාන්තාව එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි කහටගස්දිගිලිය පොලිසිය පවසන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ ජමාල්දීන් රහුමා උම්මා නමැති ඊතලවැටුණුවැව, මහපොතාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක කාන්තාවක්.

ඊයේ(03) සවස 06.00 ට පමණ මෙම සැකකරු කුඹුරට ජලය සපයමින් සිට ඇති අතර එම ස්ථානයට පැමිණි යාබද කුඹුරු හිමි කාන්තාවක් සමග වතුර හැරවීමේදී අක්‍රමිකතාවයක් සිදුව ඇති බව පවසමින් බහින් බස්වීමක් සිදුව ඇති බව අනාවරණ වී තිබෙනවා.

එහිදී මියගිය කාන්තාවගේ ඔලුවේ පිටුපසට මෙම සැකකරු උදැල්ලෙන් පහරදී මෙන් අනතුරුව කාන්තාව එම ස්ථානයේම ඇද වැටී මිය ගොස් තිබෙනවා.

සිද්දියෙන් පසු එම ඝාතනය සිදුකළ තැනැත්තා කහටගස්දිගිලිය පොලිස් ස්ථානයට පැමිණ තමා අතින් සිදු වූ වරද පිළිබඳව පාපොච්චාරණය කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරුව කහටගස්දිගිලිය පොලිසිය විසින් එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු මියගිය කාන්තාවගේ සහෝදරයාගේ දියණියගේ ස්වාමිපුරුෂයා වන මොහොමඩ් ඉල්ලියාස් මොහොමඩ් සදාත් නමැති ඊතලවැටුණුවැව මහපොතාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 ක පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු අද(04) දින කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කහටගස්දිගිලිය පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

 

 

WhatsApp Group

Skip to content