ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු රැකියා ඇණවුමක් නොමැතිව සී ෂෙල්ස් රාජ්‍යයේ බන්ධනාගාර නිළධාරීන් ලෙස සේවය කිරීම සඳහා තැනැත්තන් බඳවාගත් විදේශ රැකියා නියෝජිතායතනයක්  කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ දින (8/7) වැටලීම් කර තිබේ.

මීගමුව නගරයේ පවත්වාගෙන ගිය බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක් විසින් මෙම රැකියා සඳහා නීතිවිරෝධි අයුරින් බඳවාගැනීම් සිදුකර ඇති අතර, ඒ පිළිබඳව කාර්යාංශය වෙත ලද තොරතුරක් අනුව මෙම වැටලීම මෙහෙයවන ලදී. විමර්ශන නිළධාරීන් විසින් අදාල ස්ථානය පරීක්ෂා කිරීමේදී සී ෂෙල්ස් රාජ්‍යයේ බන්ධනාගාරවල සේවය කිරීම සඳහා ලබාදී තිබූ විදේශ ගමන් බලපත්‍ර 6ක් හා ඊට අදාළ අයදුම්පත්‍ර 6ක්ද නිළධාරීන් භාරයට ගෙන තිබේ.

අදාළ ආයතනයේ රැකියා බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට කාර්යාංශය මේ වන විට පියවර ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් රැකියා නියෝජිතායතනයේ හිමිකරු අද දින (8/8) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

විදෙස් රටවල බන්ධනාගාරවල සේවය කිරීම සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකිරීමේ වැඩපිළිවෙලක්  මෙතෙක් ක්‍රියාත්මක නොවන බැවින්, එසේ රැකියා සඳහා යොමුකරන බව පවසා මුදල් ලබාගන්නා පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳව තොරතුරු ලබාදෙන මෙන් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

WhatsApp Group

Skip to content