ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාළ පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබෙනවා.

පෙත්සම පසුගිය 16 වනදා අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේදී කැඳවූ අවස්ථාවේ එය අද දින දක්වා කල් තබා තිබුණා.

මෙම පෙත්සම විමසීම සඳහා නව විනිසුරු මඩුල්ලක් පත් කිරීම හේතුවෙන් මතුවී තිබෙන ප්‍රායෝගික අපහසුතාවය සැලකිල්ලට ගෙන අද දින පෙත්සම සලකා බැලීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම පසුගියදා ක්‍රිකට් අතුරු පාලක කමිටුව පත් කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අධිකරණයට පොරොන්දුවක් ද ලබා දී තිබුණා.

පෙත්සම් විභාගයෙන් විනිසුරුවරුන් තිදෙනෙකු ඉවත්වීම හේතුවෙන් ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව ගොනුකළ මෙම පෙත්සම සලකා බැලීම සඳහා යළිත් නව විනිසුරු මඩුල්ලක් නම් කිරීමට අභියාචනාධිකරණය පසුගිය දා පියවර ගත්තා.

ඒ අනුව අදාළ පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමට නියමිතයි.

WhatsApp Group

Skip to content