කොරෝනා සහ ආර්ථික අර්බුදය හමුවේ පැන නොගොස් රට වෙනුවෙන් වගකීම් ඉටු කළ ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයට ජනපතිගෙන් ප්‍රණාමය

ඖෂධ, ඉන්ධන සහ පොහොර සපයා ගත නොහැකිව දුක්විඳී අතීතය කිසිවෙකු අමතක නොකළ යුතු බවත්, මතු පරපුරට එවන් අඳුරු අත්දැකීමකට ඉඩ නොතබා නව ආර්ථික පරිවර්තනයක් තුළින් ශ්‍රී ලංකාව ගොඩනැගීමට රජය ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ සමඟ සියලුදෙනා එක්විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (20) පස්වරුවේ බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේ පැවති සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ 09 වන සම්මේලනය අමතමිනි.

පසුගිය කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ පැන නොගොස් රට වෙනුවෙන් වගකීම් ඉටු කළ ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයට සිය ස්තූතිය පිරිනැමීමට ද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.

2015 නව ඖෂධ පනත සම්මත කිරීමත් සමඟ සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමය ස්ථාපිත කෙරිණි. රට තුළ ඖෂධ මිල පාලනයට සහ කිසිදු ඖෂධ හිඟයක් ඇති නොවන ලෙස කටයුතු කිරීමේදී කොන්දේසි විරහිත කාර්යභාරයක් ඉටු කරන මෙම සංගමය රජයේ වකුගඩු අරමුදල සහ සෞඛ්‍ය අරමුදල ශක්තිමත් කිරීම ඇතුලු සමාජ සද්කාර රැසක් සඳහා සිය දායකත්වය ලබා දී තිබේ.

සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමයේ සභාපති දේශමාන්‍ය චන්දික ගන්කන්ද මහතා වෙත සහ හොඳම දිස්ත්‍රික් සංගම් සහ නිලධාරීන් වෙත සම්මාන පිරිනැමීම ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

WhatsApp Group

Skip to content