“උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහන මෙම ජූනි මාසය වන විට අවසන් කිරීමට තමා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කුමන ජන කොටසකට අයත් වූවද සෑම පුරවැසියෙකුගේම සිහිනය ඉඩමක නීත්‍යානුකූල හිමිකම ලබා ගැනීම බව පෙන්වා දුන් ජනාධිතිවරයා එම අයිතිය සියලු දෙනාට හිමි විය යුතු බව තමාගේ ද විශ්වාසය බව අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (22) පෙරවරුවේ යාපනය ඔට්ටගපුලම් ප්‍රදේශයේදී පැවති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනට එක් වෙමිනි.

මිලියන 02ක ජනතාවකට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම සඳහා ක්‍රියාත්මක උරුමය වැඩසටහන යටතේ යාපනය ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු 408ක් ලබාදීම මෙහිදී සිදු වූ අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව ඔප්පු ප්‍රදානයට එක් විය.

මේ අතර යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පරිහරණය කරන ලද ඉඩම් නිදහස් කිරීම ද මෙයට සමගාමීව අද (22) පලාලි ගුවන් හමුදා කඳවුරේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

යාපනය ආඥාපති මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා විසින් ඉඩම් නිදහස් කිරීමේ නිල ලිපි ලේඛන මෙහිදී ජනාධිපතිවරයාට භාර දුන් අතර, අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම ලිපි ලේඛන යාපනය දිසාපති මරදලිංගම් ප්‍රදීපන් මහතා වෙත භාර දුන්නේය.

ඒ අනුව වලිකාමම් උතුර ප්‍රාදේශීය කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් පහකට අයත් අක්කර 234 ක් මෙලෙස සාමාන්‍ය ජනතාවට ලබාදීම සිදු කෙරුණු අතර මෙම ඉඩම් රජයේ කෘෂි නවීකරණ වැඩසටහනට සමගාමීව කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් යොදා ගැනීමට නියමිතය.

ඒ වෙනුවෙන් බීජ ලබාදීම ද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

අනතුරුව ඉඩම් ලාභීන් සමඟ සුහද කතාබහක නිරත වූ ජනාධිපතිවරයා මෙම අවස්ථාව සනිටුහන් කරමින් නිදහස් කරන ලද භූමියේ පැළයක් රෝපණය කිරීම ද සිදු කළේය.

WhatsApp Group

Skip to content