පවුල් අට ලක්ෂ හැත්තෑ පන්දහසකට සෘජු සහ වක්‍ර ප්‍රතිලාභ හිමිවන උතුරුමැද පළාත් මහ ඇළ ව්‍යාපෘතිය 2026 වසරේ අවසන් කිරීමේ ඉලක්කය වෙත යාම සඳහා එහි ඉදිකිරීම් කඩිනම් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සොයා බැලීම සඳහා වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පසුගියදා (15) අනුරාධපුර පළුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, මහමීගස් වැව ප්‍රදේශයේ සංචාරයක නිරත වුවාය.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන මහ මීගස්වැව වැඩ බිම වෙත පැමිණි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, එහි ඉංජිනේරුවන් සමඟ ඉදිකිරීම්වල ප්‍රගතිය සොයා බැලුවාය.

උතුරුමැද පළාත් මහ ඇළ ව්‍යාපෘතිය හරහා අනාගතයේ දී ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනයට ඇතිකරන යහපත් සාධනීය බලපෑම අතිශය වැදගත් බව පෙන්වා දුන් අමාත්‍යවරිය, ඒ අනුව ව්‍යාපෘතිය කඩිනමින් සාර්ථකව අවසන් කිරීම සියලු දෙනාගේ වගකීමක් බව ද මෙහිදී පැවසුවාය.

මොරගහකන්ද ජලාශය ඉදිකිරීමත් සමඟ එහි ජලය මහකනදරාව ජලාශය දක්වා රැගෙන යාම සඳහා වූ උතුරු මැද පළාත් ඇළෙහි ඉදිකිරීම් කටයුතු 2021 වර්ෂයේ දී ආරම්භ කෙරිණි.

කිලෝමීටර් 95.8ක සම්පූර්ණ දිගකින් යුත් මෙම ඇළ මාර්ගයෙහි කෝඳුරුවාව හා මහ මීගස්වැව ප්‍රදේශ අතර කොටස කිලෝමීටර් 27.7ක උමං මාර්ගයකින් සමන්විත වේ.

මහ මීගස්වැව ප්‍රදේශයෙන් අධි තාක්ෂණික TBM යන්ත්‍රයක් උපයෝගී කරගනිමින් උමඟේ කැණීම් කටයුතු ආරම්භ කර, මේවන විට කිලෝමීටර් 6ක් ඉක්මවා කැණීම් සිදුකර තිබේ. එය තවදුරටත් වේගවත් කිරීම සඳහා පසුගිය නොවැම්බර් මස දී තවත් TBM යන්ත්‍රයක් යොදාගනිමින් කෝඳුරුවාව ප්‍රදේශයෙන් කැණීම් කටයුතු ආරම්භ කෙරිණි. ඒ අනුව කෝදුරුවාව දෙසින් ද මේවන විට මීටර් 465ක ප්‍රමාණයක් දක්වා කැණීම් කටයුතු සිදුකර ඇති බව ව්‍යාපෘතිය භාර අධ්‍යක්ෂ ඉංජිනේරු බී.ඩබ්.එම්.ඩබ්. සෙනෙවිරත්න බංඩා මහතා සඳහන් කළේ ය.

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර හා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වය මත රුපියල් බිලියන 49.8 ක වියදමින් ඉදිවන මෙම ඇළ මාර්ගය ඔස්සේ, මොරගහකන්ද ජලාශයේ සිට මහකනදරාව ජලාශය දක්වා ජලය රැගෙන යාම මගින් අළුතින් කුඹුරු හෙක්ටයාර් 12500ක් සඳහා ජලය සැපයෙනු ඇත. මෙයින් පවුල් එක් ලක්ෂ හැත්තෑ පන්දහසක් (175000) සඳහා සෘජු ප්‍රතිලාභ ද, පවුල් ලක්ෂ 7 කට පමණ වක්‍ර ප්‍රතිලාභ ද හිමිවේ.

එමෙන්ම උතුරුමැද පළාත සඳහා වන පානීය ජල අවශ්‍යතාවටද මෙමඟින් විසඳුම් ලැබේ. උතුරුමැද පළාත් මහ ඇළ ව්‍යාපෘතිය 2026 වර්ෂයේ දී අවසන් කිරීමට නියමිත ය.

වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ පවතින මහවැලි ජලසුරක්ෂිතතා ආයෝජන වැඩසටහන මඟින් උතුරු මැද පළාත් ඇළෙහි කටයුතු සිදුකෙරෙන අතර, චීන රාජ්‍ය ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාවේ (CHINA STATE ENGINEERING CONSTRUCTION CORPORATION) ඉංජිනේරුවන් මෙහි ඉඳිකිරීම් කටයුතු සිදුකරයි.

WhatsApp Group

Skip to content