බලශක්ති ක්ෂේත්‍රයට අදාළව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ඒකාබද්ධ ව්‍යාපෘති කඩිනම් කර ජනතාවට එහි ප්‍රතිලාභ උදාකරදීම පිළිබඳව අවධානය යොමු කෙරේ.

මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (20) කොටුව ජනාධිපති මන්දිරයේ පැවති නිල හමුවෙන් අනතුරුව පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

බලශක්ති සම්බන්ධතාව සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධනය, LNG සැපයුම, දෙරට අතර ඉදි කිරීමට යෝජිත ඛනිජතෙල් නළ මාර්ගය සහ තෙල් හා ගෑස් ගවේෂණ ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමුවිය.

සාම්පූර් සූර්ය විදුලි බලාගාරයේ ඉදිකිරීම් 2024 ජුලි මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව ද අනාවරණය කෙරිණි.

ශ්‍රී ලංකාවේ දියර කිරි කර්මාන්තය නඟා සිටුවීම සඳහා ඉන්දීය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක කර තිබෙන ව්‍යාපෘති කාර්යක්ෂම කිරීම සහ පොහොර නිෂ්පාදනයට අදාළ ව්‍යාපෘති කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය.

WhatsApp Group

Skip to content