ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අද (2024.06.20) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

භාරතීය ජනතා පක්ෂයේ නායකත්වයෙන් යුත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ආචාර්ය ජයශංකර්ට සුබ පැතූ අතර සමීප ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම සහතික කළේය. කොවිඩ් වසංගතයෙන් සහ ආර්ථික අර්බුදයෙන් පසු මෑත දුෂ්කර කාලවලදී ලබා දුන් සහය වෙනුවෙන්   අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට ස්තූති කළේය.

ශ්‍රී ලංකාව වැනි අසල්වැසියන් ඉන්දියාවට අතිශයින් වැදගත් බවත් ඉන්දියාව තුළ ශ්‍රී ලංකාව කෙරෙහි ඉමහත් හොඳ හිතක් පවතින බවත් අමාත්‍ය ජයශංකර් මහතා පැවසීය. ඉන්දීය රජය ‟අසල්වැසියා පළමුව″ යන  ප්‍රතිපත්තිය යළි තහවුරු කරන බවත් තම සංචාරයේ ප්‍රධාන අරමුණ ශ්‍රී ලංකාව සිය සමීපතම සමුද්‍රීය අසල්වැසියා සහ  මිතුරා ලෙස ඉන්දියාවේ අඛණ්ඩව කැපවීම අවධාරණය කිරීම බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අවධාරණය කළේය.

අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය අමාත්‍යවරයා මෙරට ඉන්දීය ආයෝජන, සංවර්ධන ව්‍යාපෘති, සම්බන්ධතා ව්‍යාපෘති සහ විවිධ ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කළහ.

ඉන්දීය දූත පිරිසට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ඉන්දියානු සාගර කලාපය) පුනීත් අගර්වාල් සහ සම ලේකම් සන්දීප් කුමාර් බයාපු ,  නියෝජ්‍ය මහ කොමසාරිස් සත්‍යංජල් පාණ්ඩේ ඇතුළත් විය.
මෙම අවස්ථාවට අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, අග්‍රාමාත්‍ය උපදේශක සුගීස්වර සේනාධිර සහ විදේශ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (දකුණු ආසියාව) නිලූක කදුරුගමුව යන අය ද එක්ව සිටියහ.

WhatsApp Group

Skip to content