ඉදිරි වසර කිහිපය තුළ දිවයිනේ සියලු ප්‍රාථමික සෞඛ්‍ය ආයතන සංවර්ධනය කිරිමට පියවර ගන්නා බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා  පවසයි.

සෞඛ්‍ය ලේකම්වරයා මේ බව සඳහන් කළේ මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ගිලන් රථ රියදුරු මහතුන්ගේ  දැනුම, ආකල්ප සහ හැකියාවන් සංවර්ධන කිරිම අරමුණු කරගෙන  පැවත්වූ විශේෂිත පුහුණු වැඩමුළුවේදීය.

මධ්‍යම පළාතේ විශේෂිත, තෘතියික, ද්විතීයික සහ පර්යන්ත රෝහල්වල හදිසි ප්‍රතිකාර රෝගී අංශවල (ETU) ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම සඳහා විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු කාර්ය මණ්ඩල සඳහා  පසුගිය කාලය තුළ විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත.

මෙම වැඩමුළුවට අදාළව පැවැත් වූ ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණවලින් වැඩිම ලකුණු ලබාගත් ගිලන් රථ රියදුරන්ට මෙහිදී සහතික පත් ලබාදීමට පියවර ගත් අතර,  ගිලන් රථ රියදුරන් හදුනා ගැනීම සඳහා නිල කබායක් ලබාදීම ද  සිදු කෙරිණි. මෙම උත්සව අවස්ථාව සදහා මධ්‍යම පළාතේ ගිලන් රථ රියදුරු මහත්වරු 200 ක් පමණ සහභාගි වී සිටියහ.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම්වරයා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛතාවය ගුණාත්මක, ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීම බවත්, ඒ සදහා නව දිශානතියක් වශයෙන් ගමන්මග වෙනස් කරමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවාව වඩා ශක්තිමත් කිරිම සඳහා අවධානය යොමු කර තිබෙන බවයි.

මෙරට රෝහල් පද්ධතියේ දහසකට වඩා ප්‍රාථමික සෞඛ්‍ය ආයතන වන බවත්, පසුගිය කාලය තුළ ලෝක බැංකු ආධාර යට‌තේ රෝහල් 450 ක් සම්පූර්ණයෙන් ම නැවැත සංවර්ධනය කළ බවත්, ඉදිරි වසර තුන හතර තුළ ඉතිරි සියලු ප්‍රාථමික සෞඛ්‍ය ආයතන සංවර්ධනය කිරිමට පියවර ගනිමින් මහජනතාවට වඩා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීමට කටයුතු කරන බව ද  සෞඛ්‍ය ලේකම්වරයා මෙහිදී පැවැසීය.

මධ්‍යම පළාතෙන් ආරම්භ කළ මෙම පුහුණුව මෙරට සියලු ම පළාත් ආවරණය වන සේ ක්‍රියාත්මක කරමින් සපයන සේවාවන් හි ගුණාත්මකභාවය තවදුරටත් වැඩිදියුණු කිරිමට බලාපොරොත්තු වන බව ද  ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.

WhatsApp Group

Skip to content