අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය මාර්තු 22 දක්වා දීර්ඝ කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ මේ වන විට අයදුම්පත් එක් ලක්ෂ තිස් දහසක් දෙවැනි වටය සඳහා දත්ත පද්ධතිය වෙත ලැබී ඇති බවයි.

තවත් අයදුම්පත් ප්‍රමාණයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් දත්ත පද්ධතිය වෙත ඇතුළත් කළ යුතුව ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

පළමු වටයේ ලැබුණු අභියාචනා සහ විරෝධතා දොලොස් ලක්ෂ විසි හත්දහසෙන් දෙලක්ෂ දොලොස් දහසක් පමණ එකම පාර්ශ්වය විසින් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව සැබෑ විරෝධතා සහ අභියාචනා ප්‍රමාණය නව ලක්ෂ හැට හයදසක් බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව ඉන් විරෝධතා සහ අභියාචනා හත්ලක්ෂ හතලිස් නවදහසක් පමණ සලකා බලා අවසන් අතර තවත් ලක්ෂ දෙකක පමණ ප්‍රමාණයක් සලකා බැලීමට නියමිතව තිබෙනවා.

මෙම විරෝධතා සහ අභියාචනා හේතුවෙන් මේ වන විට දස දහසක පමණ පිරිසක් අස්වැසුම සඳහා නුසුදුස්සන් බවට පත්ව ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ අතරින් මේ වන විටත් ප්‍රතිලාභ ලබා ඇති පිරිසගෙන් එම මුදල් නැවත අය කර ගැනීමට අදාළ නීතිමය පියවර ගැනීමට සූදානම් බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කලා.

WhatsApp Group

Skip to content