නුවරඑළිය මීපිලිමාන එල්කප්ලේන් ප්‍රදේශයේ පිහිටි අක්කර 16ක රජය සතු ඉඩමක් කිසිදු නීතිමය අවසරයකින් තොරව බලහත්කාරයෙන් වගා කරන පුද්ගලයාගේ අවිධිමත් වගා ක්‍රමය හේතුවෙන් එම වගාවට පහළින් පිහිටි වගා බිම් රැසක් පස් කඳු කඩා වැටීමෙන් හා කාණු පද්ධති නිසි පරිදි යොදා නොමැති බැවින් කානු උතුරා යාමෙන් දැඩි ලෙස විනාශ වී ඇති බව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

වැඩිදුර අදහස් දැක්වූ ප්‍රදේශවාසී මෙලෙසින් කියා සිටියා.

“අපි බෝගයක් වවන්නේ අපා දුක් විදලා… ගෙදර ගෑනු දරුවන්ගේ කණකර උගස් තියලා… එහෙම තත්ත්වයකදි මෙහෙම විපතක් තනි මනුස්සයෙක් කරනවා කියන්නේ මහ ලොකු අපරාධයක්… මේ මිනිහගෙන් පුදුම කරදරයක් අපිට රජයේ ඉඩමක් බලහත්කාරයෙන් අල්ලාගෙන තමිය මෙයා මේ වගා කරන්නේ… ජනාධිපතිවරයාටත් දිස්ත්‍රික් සංවර්ධන රැස්වීමේදී කිහිප වතාවක්ම කියලා තියෙනවා මේ ඉඩම රජයට පවරා ගන්න කියලා.රජයේ නිලධාරීන් මේ ගැන කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැහැ… ඔක්කොම ඒ වගාකරුවන්ගේ පැත්තේ. අපිට හිතා ගන්න බෑ ඒ ඇයි කියලා. සමහර විට ඒත් සල්ලිවලට යටත්වීමක්ද වෙන්න පුළුවන්. මේ වගාකරුවන්ගෙන් ඇති වන බාධාවන් පිළිබඳ අපි කිහිපවතාවක්ම පොලිසියට දැනුවත් කළා. නමුත් කිසිදු ප්‍රතිචාරයක් අපිට ලැබෙන්නේ නැහැ.

පොලිසියෙන් කරන්නෙත් අපිටම බනින එක. මීට දවස් හතරකට කලිනුත් පැමිණිල්ලක් සිදු කළා. එහෙත් කිසිදු පිළිතුරක් තව වෙනතුරුත් නෑ.

රජයේ ඉඩමක් බලහත්කාරයෙන් අල්ලාගෙන වගා කරන මනුස්සයෙකුට මෙච්චර සැලකිලි ලැබෙන්නේ කොහොමද අපට මේ ප්‍රශ්නෙට හරි විසඳුමක් දෙන්න කියලා වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ පිළිබඳ අප නුවරඑළිය පොලිසියෙන් සිදුකළ විමසීමකදී කියා සිටියේ ලද පැමිණිල්ලට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලීසිය සූදානම් බවයි.

WhatsApp Group

Skip to content