අන්තර් නිවර්තන අභිසාරි කලාපය දිවයිනේ කාලගුණයට දැඩි බලපෑම් එල්ල කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද සදහන්.

මේ අතර වර්ෂාවත් සමග ජලයෙන් යටව තිබූ බුත්තල කතරගම ප්‍රධාන මාර්ගය යළි ගමනාගමනය සදහා විවෘත වී තිබෙනවා.

මෙම මාර්ගය බුත්තල වගුරුවෙල ප්‍රදේශයෙන් ඊයේ උදෑසන සිට ජලයෙන් යටව තිබූ බවයි අප වාර්තාකරු සදහන් කළේ.

එමෙන්ම වගුරුවෙල ප්‍රදේශයේ පහත් බිම් රැසක් ද ජලයෙන් යට වී තිබූ අතර අද උදෑසන වන විට එහි ජලය බැසයමින් පවතින බවයි වාර්තා වන්නේ.

මේ අතර අද උදැසන ඇති වූ වර්ෂාවත් සමග කොළඹ ප්‍රධාන මාර්ග රැසක රථවාහන තදබදයක් ඇති වුණා.

ඒ අනුව පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය සහ ඒ අවට මාර්ග කිහිපයක රථවාහන තදබදයක් හටගත් බවයි පොලිසිය සදහන් කළේ. එමෙන්ම මරදාන, කිංසි පාර සහ ඩීන්ස් පාරේ මෙන්ම ආමර් වීදය ප්‍රදේශයේද රථවාහන තදබදයක් හට ගත්තා.

WhatsApp Group

Skip to content