ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථකව අවසන් වී ඇති බැවින් පසුගිය සමයේ අත්හිටුවා තිබූ ව්‍යාපෘති ද ඇතුළුව ජපාන නිල සංවර්ධන ආධාර යටතේ (ODA) ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ජපාන දූත පිරිසේ ප්‍රධානී ආචාර්ය ඉසුමි හිරොටෝ මහතා (Dr. IZUMI Hiroto) පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ එක්ව ඉතා කෙටි කාලයක් තුළ සාර්ථකව ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට එළැඹීම තුළින් ජාත්‍යන්තර ප්‍රජාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබිඹු වන බව ද ඒ මහතා සඳහන් කළේය.

මෙරටට පැමිණි නිවාස, ඉදිකිරීම් හා නාගරික ක්ෂේත්‍රයන්හි නියෝජිතයින්ගෙන් සමන්විත ජපාන ඉහළ පෙළේ දූත පිරිස අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අතර එහිදී මේ බව සඳහන් කෙරිණි.

ශ්‍රී ලංකාව තුළ ජපානය විසින් නිල සංවර්ධන ආධාර යටතේ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සහ ශ්‍රී ලංකාව තුළ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය පිළිබඳ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ එක්ව ඉතා කෙටි කාලයක් තුළ සාර්ථකව ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට එළැඹ අවසන් වීම පිළිබඳ මෙම නියෝජිත පිරිස මෙහිදී ජනාධිපතිවරයා වෙත සිය ප්‍රසාදය පළ කර සිටියේය.

WhatsApp Group

Skip to content